My photo
CHARM EASY GOING PERSON.

Sunday, April 17, 2016

The best gift to children .noble truth.(as per lord buddha). 1 pun sadin duruwei lowa gana anduru...

  ඕලෙවල් අසමත් දරුවන් ගැන බලධාරීන්ට මගපෙන්වීමක්‌ * පාසල් විෂමතාව සහ මේ විභාග ක්‍රමය දරුවන් විශාල වශයෙන් විභාග අසමත් වීමට හේතුවයි * නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිලාභ නොලැබූ දරුවන් විශාල ප්‍රමාණයක්‌ ඉන්නවා * මේ විභාග ක්‍රමයෙන් මතක ශක්‌තිය මිස දක්‌ෂතා මනින්න බෑ * පාසල්වල සම්පත් විෂමතාව බරපතළ ප්‍රශ්නයක්‌ සාකච්ඡා කළේ පාලිත සේනානායක ඡායාරූපය කමල් වන්නිආරච්චි සෑම වසරකම අපේ රටේ ප්‍රධාන විභාග තුනෙන් ඉහළින්ම සමත් වන සිසුන් පිළිබඳව විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ විශාල ඇගයීමක්‌ සිදු කළත් ඒ විභාගවලින් අසමත්වන දහස්‌ ගණනක්‌ සිසුන් පිළිබඳව සොයා බලන්නෙක්‌ නැත. සෑම වසරකම දහස්‌ ගණනක්‌ සිසුන් විභාගවලින් මෙසේ අසමත් වන්නේ ඔවුන්ගේම වරදින් නොවේ. අපේ රටේ පාසල් අතර තිබෙන බරපතළ විෂමතාවත් වර්තමාන විභාග ක්‍රමයත් ඊට ප්‍රධාන හේතුවක්‌ බව මෙරට අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතකු මෙන්ම ප්‍රවීණ අධ්‍යාපනඥයකු ද වන ආචාර්ය ජී. බී. ගුණවර්ධනයන්ගේ මතයයි. උසස්‌ පෙළට වරම් නොලබන අපේ රටේ අපොස සාපෙළ සිසුන්ගේ අනාගතය පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය ආචාර්ය ජී. බී. ගුණවර්ධනයන් සමග සිදුකළ සාකච්ඡාවකි මේ. සෑම වසරකම අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් විශාල ප්‍රමාණයක්‌ අසමත් වෙනවා. පසුගිය සාපෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කළ පාසල් අතරෙන් පාසල් 145 ක එකම ශිෂ්‍යයෙක්‌ වත් සාපෙළ සමත් වී නෑ. මෙයට හේතුව කුමක්‌ද? අපේ රටේ ප්‍රධාන විභාග 3 ක්‌ තිබෙනවා. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස්‌ පෙළ විභාගය. මේ විභාග තුනම දැනටත් පාලනය වන්නේ 1968 දී සම්මත කරගත් විභාග පනතින්. ඒ පනතේ සඳහන් බලතල වලිනුයි මේ විභාග පාලනය වන්නේ. මේ විභාග තුනේම ප්‍රතිඵල නිකුත් වෙන හැම අවුරුද්දෙම උසස්‌ ලෙස ඒ විභාග සමත් වූ දරුවන් කිහිප දෙනාට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක්‌ දෙනවා. ඒ දරුවන්ගේ දක්‌ෂතා, කැප කිරීමෙන් වැඩ කිරීමේ හැකියාවන් හඳුනාගෙන ඒවා අගය කිරීම හොඳයි. නමුත් මේ හැම විභාගයකින්ම පාහේ සියයට 10 ක්‌ පමණ අසමත් වෙනවා. එය දහස්‌ ගණනක්‌. මේ දරුවන් අසමත් වන්නේ ඒ දරුවන්ගේම වරදින් නෙමෙයි. අපේ රටේ පාසල්වල පහසුකම් අතින් තිබෙන විෂමතාවය මෙයට ප්‍රධාන හේතුවක්‌. සමහර පාසල්වලින් එකම ළමයෙක්‌ වත් අපොස සාපෙළ සමත් නොවීමට හේතුව එයයි. අපේ රටේ පාසල් දස දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ තිබුණත් පාසලකට අවශ්‍ය අවම සම්පත් හෝ සමහර පාසල්වලට නෑ. බොහෝ පාසල්වල දරුවාට ඉගෙනීමට සුදුසු පරිසරයක්‌ නෑ. සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා අපේ රටේ නිදහස්‌ අධ්‍යාපනය ස්‌ථාපිත කර දශක ගණනාවක්‌ ගත වුවත් එහි අවම ප්‍රතිලාභ හෝ සෑම දරුවකුටම තවමත් ලැබී නෑ? ඔව්. නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිලාභ ළඟා නොවුණු, එය තවමත් අහිමි වුණු දරුවන් විශාල පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. යම් කිසි අධ්‍යාපන ක්‍රමයක විභාග පිළිබඳ සිතීමේදී එහි මට්‌ටම තීරණය කරන ප්‍රධාන කාරණයක්‌ ගුරු සාධකය. අපේ රටේ දරුවන් 18 දෙනෙකුට එක ගුරුවරයෙක්‌ ඉන්නවා. විදේශ සම්මන්ත්‍රණවලදී මේ කාරණය මම කියන විට ඇතැම් රටවල අධ්‍යාපන විශේෂඥයන් එය පිළිගත්තෙත් නෑ. අපේ රටේ එබඳු ගුරු සම්පතක්‌ තිබුණත් ගම්බද බොහෝ පාසල්වලට ප්‍රමාණවත් ගුරුවරුන් නෑ. අපේ රටේ ගුරුවරුන් විශාල පිරිසක්‌ ගුරු සංවර්ධන පාඨමාලාවලට යොමු කරලත් තිබෙනවා. විද්‍යා පීඨවලට බඳවාගන්න අයටත් වසර තුනක ඩිප්ලෝමා පාඨමාලාවක්‌ ලබාදෙනව. මම උසස්‌ අධ්‍යාපන අධ්‍යක්‌ෂවරයා වශයෙන් සිටියදී ආරම්භ කළ එම ඩිප්ලෝමා පාඨමාලාව අද සාර්ථකව ක්‍රියාත්මක නොවන බවයි මගේ අදහස. ඒ කෙසේ වෙතත් කිසියම් පූර්ව පාඨමාලාවක්‌ හදාරලයි ඒ අයත් ගුරු සේවයට පැමිණෙන්නෙ. ඇතැම් පාසල්වල ගුරු අතිරික්‌තයක්‌ තිබියදී පාසල් විශාල ප්‍රමාණයකට අවශ්‍ය තරම් ගුරුවරු නෑ. අපොස සාපෙළ විභාගයෙන් දරුවන් විශාල ප්‍රමාණයක්‌ අසමත් වීමට මෙය ප්‍රධාන හේතුවක්‌. මේ අසමත්වෙන දරුවන්ගෙන් වැඩිදෙනෙක්‌ ගම්බද දුප්පත් දෙමාපියන්ගෙ දරුවො. මේ දරුවන්ට පාසලේදී නිසියාකාර අධ්‍යාපනයක්‌ නොලැබෙනවා වගේම පාසැලෙන් බාහිරව නිවසේදී සහ අමතර පන්ති ඇසුරෙන් තම දැනුම වර්ධනය කර ගැනීමට තිබෙන අවස්‌ථා අඩුයි. මෙබඳු බොහෝ දරුවන්ගේ දෙමව්පියන්ටත් ඒ දරුවන්ට උදව් කිරීමට අපහසුයි. මේ බොහෝ අය අදක්‌ෂ දරුවො නෙමෙයි. විභාගවලින් ඉහළින්ම සමත් වන දරුවන් පිළිබඳව සිදුකරන මාධ්‍ය හෙළිදරව්ව වගේම අධ්‍යාපනය අහිමිවීමෙන් අසමත් වන මේ දක්‌ෂ දරුවන් පිළිබඳවත් මාධ්‍ය තුළින් හෙළිදරව් විය යුතුයි. අපේ රටේ වර්තමාන විභාග ක්‍රමය දරුවන්ගේ මතක ශක්‌තිය මිස හැකියාවන් හා දක්‌ෂතා මනින ක්‍රමයක්‌ නොවේ යන මතයක්‌ දැන් ඉදිරිපත් වී තිබෙනවා. විශාල පිරිසක්‌ විභාගවලින් අසමත් වීමට වගේම ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක්‌ නොමැති වීමටත් මෙය හේතුවක්‌ද? අපේ රටේ විභාග පැවැත්වීම ආරම්භ කළේ 1880 තරම කාලයේ. එදා සිට නිදහස ලබන තෙක්‌ම අපේ රටේ පැවති සියලු විභාග අනුගමනය කළේ බ්‍රිතාන්‍ය ආකෘතිය. බ්‍රිතාන්‍ය ආකෘතිය අපි සහමුලින්ම පිළිගත්තා පමණක්‌ නොමෙයි අද දක්‌වාමත් එහි විශාල වෙනසක්‌ සිදුවී නෑ. 1972 දී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නම වෙනස්‌ කළත් එයටත් බොහෝ දෙනෙක්‌ විරුද්ධ වීම නිසාම පරණ නමින්ම, පරණ ක්‍රමයම තවමත් අපි අනුගමනය කරනවා. පසුගියදා බ්‍රිතාන්‍යය ඔවුන්ගේ විභාග ක්‍රම පිළිබඳ සිදුකළ විශ්ලේෂණයකදී ඔවුන්ගේ විභාග ක්‍රමය දරුවන්ගේ මතක ශක්‌තිය විමසන ක්‍රමයක්‌ මිස එයින් දරුවන් තුළ ඇති වෙනත් ශක්‌තීන් විමසා නොබැලෙන බව ප්‍රකාශ කර තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ වර්තමානයේ ඉතාමත් පුළුල් ලෙස පර්යේෂණ සිදුකෙරෙන විෂයයක්‌. අධ්‍යාපනය තුළ තක්‌සේරුව සහ ඇගයීම මේ ක්‍රියාදාමය තුළ එකට ගමන් කළ යුතු බව අද පිළිගත් කාරණයක්‌. අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ගේ සහ වෙනත් විද්වතුන්ගේ මතය තක්‌සේරුකරණය සහ ඇගයීම ඉගැනAවීමේ ක්‍රියාවලිය තුළම පැවතිය යුතු අංගයක්‌ බවයි. ඇත්ත වශයෙන්ම එය දරුවාගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා යොදාගන්නා ක්‍රමෝපායක්‌. විභාගය කිසියම් අවස්‌ථාවක දරුවා සතු දැනුම මනින ක්‍රමෝපායක්‌ පමණක්‌ නොවෙයි. වර්තමාන විභාග ක්‍රමය තුළින් සිදුකෙරෙන්නේ එක්‌තරා අවස්‌ථාවක දරුවා තුළ ඇති මතක ශක්‌තිය මැනීමක්‌. ඒ මැනීම අනුව ශ්‍රේණිගත කරල දරුවාට සහතිකයක්‌ දෙනව. ඕනෑම දරුවකු තුළ ප්‍රබලතා වගේම දුබලතාත් තිබෙනව. ප්‍රබලතා සංවර්ධනය කිරීමත් දුබලතා හඳුනාගෙන ඒවා නැති කිරීමට කටයුතු කිරීමත් අධ්‍යාපනය තුළින් විය යුතුයි. පාසල් පාදක ඇගයීම මේ අරමුණින් පටන් ගත්තත් එය ආරම්භ කරන අවස්‌ථාවේදී ගුරුවරයාට ඉසිලිය නොහැකි බරක්‌ ඔහු මත පැටවුණා. කවර රටකවත් අධ්‍යාපනය එකවර වෙනස්‌ කරන්න බෑ. එය ක්‍රමිකව වෙනස්‌ විය යුතුයි. පාසල් පාදක ඇගයීමත් එලෙස ක්‍රමිකව සිදුකළ යුතුව තිබුණත් එය සිදුවුණේ නෑ. පාසල් පාදක ඇගයීම හඳුන්වාදීමේදී ඊට අවශ්‍ය පහසුකම් ගුරුවරයාට ලබා දුන්නෙ නෑ. 2000 දී අධ්‍යක්‌ෂ ජනරාල් ලෙස මා පත්වූ අවස්‌ථාවේ පාසල් පාදක ඇගයීම වෙනුවෙන් ගුරුවරයා මත පටවා තිබූ බර හතරෙන් එකකට මම අඩුකළා. කෙසේ නමුත් තවමත් පාසල් පාදක ඇගයීම නිසි පරිදි සිදුකර ගැනීම සඳහා ගුරුවරයා සකස්‌ කරගෙන නෑ. අපොස උසස්‌ පෙළට වරම් නොලබන, අපොස සාපෙළ අසමත් වෙන දරුවන් වෙනුවෙන් පාසල් පාදක ඇගයීමේ සහ වර්තමාන විභාග ක්‍රමයේ සිදුකළ හැකි වෙනස්‌කම් මොනවද? විභාග ක්‍රමය වෙනස්‌ කරන්න යෝජනා කරන කොට නිදහස්‌ අධ්‍යාපනය විනාශ කරන්න හදනවා කියන අයත් ඉන්නවා. පකිස්‌තානයේ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ සිදුකරන්නට මා කටයුතු කළ අවස්‌ථාවේ ඒ රටේ විභාග ක්‍රමය වෙනස්‌ කළ යුතු යෑයි මා යෝජනා කළ විට එහි විශ්‍රාමලත් අධ්‍යක්‌ෂවරයෙක්‌ මට නොගැහැව්වා විතරයි. පකිස්‌තානෙත් පවතින විභාග ක්‍රමය සුදුසුම ක්‍රමය ලෙස පිළිගන්න කොටසක්‌ ඉන්නවා. අපේ රටෙත් එහෙම පිරිසක්‌ ඉන්නව. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කරන්නට අපේ පවතින විභාග ක්‍රමය බාධාවක්‌ මුත් වර්තමාන මේ විභාග ක්‍රමය සහමුලින්ම ඉවත් කරන්න බෑ. මේ විභාග ක්‍රමය සහ නිදහස්‌ අධ්‍යාපනය අතර සම්බන්ධය මොකක්‌ද? නිදහස්‌ අධ්‍යාපනය තවම අපේ රටේ සෑම ළමයෙකුටම ළඟා වෙලා නෑ. එය ආරම්භයේදීත් රටේ යමක්‌ කමක්‌ තියෙන අයටයි වැඩි ප්‍රයෝජනයක්‌ වුණේ. අදත් එහි වෙනසක්‌ නෑ. අසමත් වෙන අයට වඩා අදත් වැඩි ප්‍රචාරයක්‌ දෙන්නෙත් විභාග ඉහළින් සමත් වෙන අයට. ඉහළින් සමත් වූ අයට ප්‍රචාරයක්‌ දුන්නට කමක්‌ නෑ. නමුත් අසමත් වෙන අයත් ඉන් මුදා ගන්න වැඩ පිළිවෙළක්‌ තිබෙන්න ඕන. ඒ ගැනත් විශාල අවධානයක්‌ මාධ්‍ය ඔස්‌සේත් යොමු වෙන්න ඕන. වර්තමාන පාසල් පාදක ඇගයීම් ක්‍රමය හා විභාග ක්‍රමය ඒකාබද්ධ කිරීමෙන් මේ අසමත් වෙන දරුවන් වෙනුවෙන් වඩාත් හොඳ ක්‍රමවේදයක්‌ ඇතිකරන්න පුළුවන්. මේ ඒකාබද්ධ කිරීම එකවරම නෙවෙයි, ක්‍රමක්‍රමයෙන් කළ යුතුයි. අපොස සාපෙළ විභාගයෙන් දරුවන් අසමත් වීම අවම කරගැනීමටත් අසමත් වෙන දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමටත් නම් මේ පවතින විභාග ක්‍රමය වෙනස්‌ කිරීම මෙන්ම අපේ රටේ පාසල් අතර තිබෙන සම්පත් බෙදී යැමේ විෂමතාම අවම කරගත යුතුයි. සමහරු අපේ රටේ හැම ළමයෙකුටම ලැප්ටොප් දෙන්න වැනි යෝජනා කරනවා. නමුත් ඇමරිකාවෙ වත් එහෙම නෑ. බීමට සුදුසු වතුර පොදක්‌ වත් අපේ රටේ ගම්බද බොහෝ පාසල්වලට නෑ. නමුත් බොන වතුර පුරවපු පිහිනුම් තටාකවල නගරයේ ළමයි පීනනව. මේ සම්පත් බෙදී යාමේ විෂමතාව හැකිතරම් අඩු කළ යුතුයි. එසේම ළමයාගේ මතක ශක්‌තිය විමසන විභාග ක්‍රමය වෙනුවට දරුවා තුළ ඇති සහජ හැකියා සහ දක්‌ෂතා මනින විභාග ක්‍රමයක්‌ තුළින් දරුවාගේ අනාගතය තීරණය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්‌ අපේ රටට අවශ්‍යයි.  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment

Have a fantastic day.